August 25, 2015

නාහෙට ලනුව - එය එසේ වීමට තීන්දු විය.



සතියකට විතර පස්සේ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න ලැබුනේ. ගොඩක් කාර්ය බහුල සතියක් වගේම ජිවිතේ හරිම සතුටෙන් ගෙවිලා ගිය කාලයක් ගතවුනේ. අපේ ෆැමිලි දෙක පොඩි ට්‍රිප් එකක් ගියා, බට්ටිච්චිව අපේ අත්තම්මට හදුන්වලා දුන්නා

(ඒක අපේ ෆැමිලි එකේ ඉස්සර කාලේ ඉදන්ම තිබුණු දෙයක්ලු. පවුලට කවුරුහරි අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්නවා නම් හැමෝන්ටම එයාව හදුන්වලා දෙන්නඩ ඕනි ෆැමිලි එකේ. ඒකේ මුලසුන ගන්නේ පවුලේ වැඩිමලා. ඒකියන්නේ අත්තම්මා. අත්තම්මට දැන් වයස 86යි. දෙවියන්ගේ පිහිටෙන් නිරෝගීව ඉන්නවා.)

හොදම සිද්ධිය උනේ බට්ටිච්චිලාව කට්ටියට හදුන්වලා දෙන්න අත්තම්මලාගේ ගෙදර ගිය වෙලාවේ. ඊට කලින් අපේ ලස්සන පවුල ගැන කියලා හිටියොත් හොදයි කියලා හිතෙනවා. බලන්ඩකෝ. අපේ සීයා පට්ට වැඩකරු.

ලොකුම තැන - අත්තම්මා

අංක දෙක - ලොකු තාත්තලාගේ සෙට් එක (ලොකු තාත්තා, ලොකු අම්මා, සුදු අක්කා, සුදු අක්කාගේ හබියා, නංගි + නගාගේ වෙන්ඩ හබියා, රංගු මලයා, ලොකු අප්පු තමයි අඩු. එයත් දෙවියන් වහනසේ ලග ඉදන් අපි දිහා බලන් ඉන්ඩ ඇති. )

අංක තුන - අපේ ගෙදර සෙට් එක (සෙට් එක කිවට අම්මියි , මමයි)

අංක හතර - හිච්චි බාප්පලාගේ සෙට් එක ( හිච්චි බාප්පා, සුදු අම්මා, නංගිලා දෙන්නා )

අංක පහ - නැන්දලාගේ ෆැමිලි එක ( මාමා, නැන්දා, උන් දෙන්නාගේ වසවර්ති පුත්‍රයා (ඇන්ඩ් සමනලි නංගි) මගේ එල බොක්කක් වෙච්චි ගිම්හාන මල්ලි. මලයා කිවට ඒකා මට වඩා දවස් දෙකයි බාල)

අංක හය - පාලි බාප්පා නොහොත් සූටි ( බාප්පා - සූටි අම්මා)

අංක හත - චූටි බාප්පා ( චූටි අම්මා, නංගිලා දෙන්නා, මල්ලී)

අංක අට - චූටි නැන්දා (මාමා මේ වෙනකොට සයිප්‍රස් සහ චූටි නැන්දගේ චූටි කෙලි පොඩ්ඩ)

අත්තම්මා ජෙමාට පට්ට ආදරයක් තියෙන්නේ. අපි කට්ටිය බට්ටිච්චිලා එක්ක අත්තම්මව බලන්න එනවා කියලා කොල් කරලා කිවාම අපිට රෑ කෑමකටම එන්න කියලා ලොකු තාත්තා කිවා. ඔන්න ඉතිං පහුවෙනිදා අපි හවස 4 විතර වෙනකොට අත්තම්මලාගේ ගෙදරට ගියා. ඔන්න ඒ වෙලාවේ තමයි ජෙමාට දෙවියන් වහන්සේව සිහි වෙන්නේ.

පවුලේ සෙට් එකටම ලොකු තාත්තා රෑ කෑමට එන්න කියලා ආරාධනා කරලා. කාලා වරෙන්කෝ. සේරම 25 දෙනෙක් විතර අත්තම්මලාගේ ගෙදර. ඒ මදිවට අපේ ගිම්හාන මලයාගේ වෙන්ඩ බාරි සමනලි නගාගේ අම්මයි අක්කයිත් ඇවිත්. ලොකු තාත්තා සේරටම එන්න කියලා.

කොහොම හරි බට්ටිච්චි කෙල්ල අපේ ෆැමිලි එකේ සෙට් එකෙන්ම හොද ලකුණු දාගන්න පුළුවන් උනා. මේකි කාටත් හොරෙන් බුලත් අතක් අරන් ඇවිත් වැඩිහිටි සේරටම බුලත් දීලා වැන්දා. හැමෝන්ම ආදරෙන් අපේ පවුලට එකතු වෙන්න ඉන්න බට්ටිචිචිව ආදරෙන් පිළිගත්තා. අපේ අම්මිගේ ඇස්වල කදුලු. ඒ කදුලු අතරින් එයාට කියවුනේ එකම එක දෙයයි. අද තාත්තිත් හිටියා නම් කියලා විතරයි.

ඔන්න කට්ටිය රෑ කෑමටත් කාලා එහෙම සතුටු සාමිචියට සෙට් උනා. ඔය අතරේ ලොකු තාත්තා තමයි ජෙමාට නාස් ලනුව දාන්න මූලික වෙන්නේ..

ශීලා නංගි... දැං ඉතිං මේ කටයුත්ත ඉක්මනටම ඉවරයක් කරලා දැම්මොත් නේද හොද.

ඔන්න කාරණාව සභාගත උනා.

කොහොම කොහොම හරි සේරගේම එකගතාවය මත ඔක්තෝබර් 21 වෙනිදා ජෙමයා බට්ටිච්චිවයි එන්ගේජ් කරවලා ලබන අවුරුද්දේ වෙඩිම ගන්න කට්ටියම තිරණය කර ගත්තා (ලොකු අප්පු නැති වෙච්චි නිසා). 

එන්ගේජ්මන්ට් එකේ වැඩ ටික ලොකු තාත්තා ඇරේන්ජ් කරන්න තිරණය කලා. ඊට කලින් අවසර ගන්ඩ ඕනි දේවල් කරන්න ඕනි. ඒ ටිකත් ලස්සනට සිද්ධ වෙයි කියලා හිතනවා. ඒ වගේම එදා රෑ (20 වෙනිදා) අපේ අනිතුමා ජෙමාට කොල් කලා. ඉතිං මේ විස්තර පිටස්තර කෙනෙක්ට කියලා මුලටම දැනගත්තේ එතුමා. එතුමා තමයි ඒ වෙලාවේ ජෙමාට මතක් කලේ අවසර ගන්න ඕනි ලියකියවිලි ටිකත් රෙඩි කරගෙනම වරෙන් කියලා. එතුමා ඇවිල්ලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම නායකයෙක්.

ඇත්තමට ජෙමාට, ජෙමාගේ පවුලේ සමගිය එකමුතු බව ගැන ගොඩක්ම සන්තෝස දැනුනා. මොනවා නැතත් අපේ පවුලේ එකාට එකෙක් ඉන්නවා නේද කියලා. ඒ වගේම මේ දේ නොලිවොත් අඩුවක් වෙයි කියලා හිතෙනවා. පහුවෙනිදා තවත් එක්කෙනෙක් ජෙමාටයි බට්ටිච්චිටයි කතා කරලා විශ් කලා. ඒ තමයි නිම්නියා අක්කා. අපේ ලොකු අප්පුගේ කෙල්ල. ලොකු අප්පු නැතත් ඒකි අපේම පවුලේ සාමාජිකාවක් වෙලා. ඒකිටත් ලස්සන අනාගතයක් හදලා දෙන්න මහන්සි වෙන්ඩ ඕනි. මගේ ලොකු අයියා වෙනුවෙන්.

ඒ වගේම මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ අපේ පවුලේ මේ තියන සමගිය එකමුතු කම කවමදාකවත් නැති කරන්ඩ එපා කියලා.

August 18, 2015

අළුත් කාලපරිච්ඡේදය | New era



ඔන්න මේ වෙනකොට ලංකාවේ තවත් එක් ජනතා මත විමසීමක් ඉවර වෙලා තියනවා. මූලිකවම ප්‍රධාන පක්ෂ දෙකක් මූලික කරගෙන මේ ජනමතය පැවැත්වුනා කියලා මට හිතෙනවා. උතුරු නැගෙනහිර ජනතාවත් මූලිකවම තමන්ගේ වර්ගයා පදනම් කරගෙන තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා තියනවා කියලත් පේනවා අවසන් ප්‍රථිඵල දැක්කාම.

කොයි කෙසේ වෙතත් මේ මොහොත වෙනකොට එක්සත් ජාතික පක්ෂය තියුණු ජයග්‍රහනයක් ලබාගෙන තියනවා වගේම කාලයකට පස්සේ ලංකාවට ප්‍රබල විපක්ෂයක් ඇතිවෙලා තියනවා කියලත් හිතෙනවා. ඉතින් මේ ලැබුණු ප්‍රථිඵලේ මත හැම කෙනෙක්ම සුභවාදිව වැඩ කටයුතු කරන්න ඕනි වගේම ජයග්‍රහනය කල අය තමන්ගේ ජයග්‍රහණය නිහතමානිව සමරන්නත්, පරාජයට පත්වුන අය  ජයග්‍රහනය කල අයට සුභ පතලා ඔවුන්ගේ නිවැරදි ක්‍රියාවලින්ට සහය දක්වන්නත් නිහතමානි වෙනවා නම් ඇත්තටම ලංකාව මීට වඩා ගොඩක් ලොකු දියුණුවකට ගෙනියන්න පුළුවං වෙයි. 

අනිත් එක තමයි දිනපු අයයි, පරාද උන අයයි පොඩ්ඩක් උතුරු නැගෙනහිර ගැන විශේෂ අවධානයෙන් ඉන්න වෙයි කියලා හිතෙනවා. මොකද ලංකාව කියන්නේ කෑලි කෑලි කඩලා වෙන වෙනම රාජ්‍යයයන් නිර්මාණය කරන්න පුළුවං තරමේ ලොකු රටක් නෙමෙයි. පුංචිම පුංචි දුපතක්.

ඔන්න කට්ටිය කියන්ඩ එපා ජෙමා අළුත් රජයට කඩේ යන්න පටං අරන් කියලා. මම කලටිපොල් ගැන මෙලොව හසරක් දන්නේ නෑ. මට දැනගන්න ආසත් නෑ. මට මේ ටික ලියන්ඩ හිතුනේ සෝෂල් මීඩියා, ටෙලිවිෂන් වල යන යම් යම් දේ දැකලා.

කොහොම අපේ මව් බිමට ජේසු පිහිටෙන්, බුදු සරණින්, අල්ලාහ් ගේ පිහිටෙන් හොද කාලයක් ලබනවා නම් එච්චරයි. 

ඔන්න ජෙමා තට්ටු උනා...!
අද රෑට බර්ත්ඩේ පාර්ටි එකක් තියනවා. මගේ බැචා. ඒකාටත් සුභ උපන් දිනයක් වෙච්චාවේ.



ප.ලි
ජයග්‍රහනය කල නොකල හැමෝන්ටම චියර්ස්...!!!

ප.ප.ලි
කොල්ලා ආයෙම හෙට උදේ ගෙදර යනවෝවෝවෝ......වෝ...........!!

August 17, 2015

එයා ලග තියන මගේ මාතෘකාව



ලියන්ඩ ඕනි. ඒ උනාට ගපල ගන්න තමයි අමාරු. එයා ආවා ලංකාවට. මමයි අම්මියි බන්ඩාරණායක එයාර්පෝට් එකට ගියේ එයාලා එන්න පැයකට විතර කලිං. ජීවිතේ ගෙවපු දිගම පැය. කොහොම හරි බට්ටිච්චිලා ආව ප්ලේන් එක ආවා. හිත හරිම නොසන්සුන්. ඊ ලගට උදාවෙන අවස්ථාවට කොහොම ෆේස් කරගන්නද කියලා හරිම චකිතෙකින් හිටියේ.

ආව ගමන් බට්ටිච්චිව බදා ගන්නවද,
නැත්නම් කිස් එකක් දෙනවාද,
නැත්නම් මුලටම අම්මටයි තාත්තටයි වදිනවද,
නැත්නම් හායි පාරක් දානවද,
ග්ර්ර්ර්.....!!!!

ඉස්සෙල්ලාම අම්මටයි තාත්තටයි වදිනවා...!

ගත්තා අන්තිම තිරණේ. ඔය අතරේ තමයි ඇස් දෙක දකින්න බලා පොරොත්තු උන රූපේ දර්ශණ පථයට වැටෙන්නේ. අම්මා ගහයි නිකං කරන්ට් එක වැදුනා වගේ. ඒ තුන්දෙනාගෙම මූණු වල හිනා මල් පිපිලා. මට හිනා වෙන්න අමතක වෙලා හිටියද මංදා. බට්ටිච්චි මගේ ලගට ඇවිත් ඇස් දෙක දිහා බලන් ඉන්න ඇති විනාඩියක්, දෙකක්, සමහරවිට තුනක්. කොහොම හරි ඊ ලග මොහොතේ අහිංසකි මගේ තුරුලේ.  කෙල්ලගේ ඇස්වල කදුලු. මම අහන්න ගියේ නෑ ඇයි අඩන්නේ කියලා. ඒකිම උත්තරේ දුන්නා.

මේ සතුටු කදුලු අපූ...!

මහරජ කෙලියා නේද තාප්පෙටම. යකෝ ප්ලෑන් කරන් හිටියේ ආව ගමං අම්මටයි තාත්තටයි වදිනවා කියලා නේද, එතකොට කෝ අපේ අම්මියි, එයාගේ අම්මයි තාත්තයි. වෙලා තියෙන්නේ ලෙසටම වැඩේ. තුන්දෙනාම ලස්සනට පිචෑර් එක බලන් ඉන්නවා. කන පැලෙන්න නෝන්ඩියා. ලැජ්ජාව දෙකට තුනට නවලා සාක්කුවේ ඔබාගෙන වැන්දා ඩබලට. බට්ටිච්චි දැංමම අපේ අම්මිව සින්නක්රේටම අරං.

අම්මලාට කතා බහ කරගන්න ගොඩක් දේවල් තියනවා කිවා,
ඒ වගේම අපි දෙන්නටත් කතා කරන්න ගොඩක් දේවල් තියනවා.
ඇත්තටම ගොඩක් සතුටෙං මම ඉන්නේ දැන්.



ප.ලි. 1135hrs
කෙහෙම්මල් ඡන්දයක් නිසා ආයෙම කෑම්ප් එකට එන්ඩ උනානේ. ෂික් නෙද්දකිං. අනිතුමා කිවා අද ඇවිත් හෙට හවස ආයෙමත් පලයං කියලා. කස්ටියගේ ලෑස්තිය ඉක්මනට මාව හිරේ විලංගුවේ දාන්න. පර්මිෂන් ගන්නත් එපැයි දැං. ceremonial අදිනවද නැද්ද....

ප.ප.ලි.
අද ජෙමා කොල්ලා ලෙසටම බයිට් වෙනවා ඈ..! 

August 14, 2015

මහ ගහෙංම කෙලවිය...!



ජීවිතේ යාලුවෙක් කියලා ඉදපු එකෙක් නිසා ආයෙමත් මහ ගහෙංම කෙල උනා. ඒකාගේ නම රවීන්ද්‍ර. මිට අවුරුද්දකට විතර කලිං මේකාගේ මගුලට සල්ලි ටිකක් ඕනි කියලා මගෙං ලක්ෂ දෙකක් ඉල්ලුවා. සුටුස් ගාලා දෙනවා කියලා. එකටම ඉදපු බොක්කක් නිසා ළග තිබිච්චි සල්ලි ටිකකුයි, අඩු පාඩුවට අම්මි අරං දුන්නු චේන් එක උකස් තියලා ගත්ත සල්ලියි සෙට් කරලා ලක්ෂ දෙකක් මම ඒකාට දුන්නා. මම ඒ ලබ්බාට කිවා මගේ චේන් එකත් උකස් කරලා සල්ලි දුන්නේ උඹ ඒක බේරලාම දියන් කියලා.

කොහොම හරි මේ ලබ්බා දෙනවා කියපු දවස වෙනකොට මට ලක්ෂ එකහමාරක් දුන්නා. මාස හතර පහකින් චේන් එකත් ගෙවලා ඉවර කරන්නම් කීවා. මේ වෙනකොට එක මාලේට මාල දෙකක් බේරගන්න කල් නිසා මම රවියට කෝල් කරලා බැලුවා. ඒකා ෆෝන් එක ආන්ස්වර් කරන්නෑ මාව මගඅරිනවා. 

ඔන්න ඉතිං පුෂ්පෙ විකසිත වෙන වෙලාව. ගත්තා ඊටීඅයි එකට කෝල් එකක්. ඇග සලිත වෙලා යන ස්වීට් වොයිස් එහෙකිං කතා කලේ කෙල්ලක්. විස්තර කියලා ඇහුවා. අයිඩී එකත් අහගෙන ටික වෙලාවකින් කියපු දේ නං සෝ.... ස්වීට්..!!

සර් ඉන්ට්‍රස්ට් එකත් එක්ක රුපියල් 77,623.42 ක් ගෙවලා චේන් එක බේරා ගන්න පුළුවං....!!!

කාලා වරෙංකෝ... මේ වශ්‍යා පුත්‍රයා එක වාරිකයයි ගෙවලා තියෙන්නේ...





ප.ලි.
ආහ්... හෙට උදේ වෙන්ඩ ගෙදර එක්කෙනයි, වෙන්ඩ නැන්දම්මා ඇන්ඩ් මාමන්ඩියයි ලංකාවට සැපත් වෙනවා. කොල්ලා අද හවස නිවාඩු යනවා දවස් 10ක්.