July 20, 2015

ජිංක චිකා ජිංක චිකා.... මම දින්නා...




ඔව් යාළුවනේ මම දින්නා.. මම හිතුව විදියටම මැණිකේ නෑ නෑ බට්ටිච්චි මගේ උනා. හැබැයි බට්ටිච්චි එක සැරේම මට දිනුම දුන්නේ නෑ. බට්ටිච්චි හොද ගනං කාරියක් වෙලා. හිටියට වඩා ටිකක් නපුරුත් වෙලා.

බට්ටිච්චිගේ උපන් දිනේ 2015/07/20 නේ. ඉතිං මම උදේ පාන්දර 12 පහුවෙලා ටික වෙලාවකින් ගත්තා ස්කයිප් කෝල් එකක්. අරගෙන ටික වෙලාවක් කතා කර කර ඉදලා. එක සැරේම කිවා

මැණිකේ මම ඔයාට ආදරෙයි කියලා...

කෙල්ල ටික වෙලාවක් මගේ දිහා පුදුම වෙලා වගේ බලං ඉදලා.....

** ඔයා හිතුවද මම රූකඩයක් කියලා. ඔයා මාව එපා කියලා කොච්චර කාලයක් වෙනවද? දැන් මොකටද මාව ඕනි.. බ්ලා බ්ලා බ්ලා...

අම්මට සිරි. මාව නිකං කරකවලා අතෑරියා වගේ. කියන්න දේවල් තිබුණත් කටින් වචන පිටඋනේ නෑ. කල එකමදේ තමයි ලැප් එකයි, ෆෝන් එකයි ඕෆ් කරලා දාලා ඇද බදාගන්න එක. ඇත්තම කීවොත් කාලෙකට පස්සේ මගේ ඇස් දෙකට කදුලක් ආවා. නිදිමතක් කියලා නාමයක් තිබුණේ නෑ. කොහොම හරී උදේ උනා. ලෑස්තිවෙලා ඔෆිස් එකටත් ගියා.

9ට විතර ඔෆිස් එකේ කොල්ලෙක් එනවා ඔෆිස් සීඩීඑම්ඒ එකත් අරං...

සර්ට ගෙදරිං කෝල් එකක්...

කෙලියා නේද මහරජ, ෆෝන් එක තාම ඕෆ් නේ.. බැලින්නම් ගෙදරින්...

මොනවද දරුවෝ ෆෝන් ඕෆ් කරන් කරන්නේ. දැංම ඕන් කරනවා. අපි මෙහේ ගිණි පත්තු වෙලා.

අම්මා ගහයි.. නිකං චීන පටස් කන ලග පුපුරනවා වගේ.

කෑ ගහන්නේ නැතිව මොකක්ද කේස් එක කියලා කියන්නකෝ අම්මි...

කෑ ගහන්න නෙමෙයි. ෆෝන් එක ඕන් කරලා බලනවා...

මැණිකේ... (මම මෝඩයෙක් තමයි බං, ආයේ මම ඔයාව නැතිකර ගන්නෑ...)



මේක පෝස්ට් එකකට වඩා මැණිකේගේ ආශාවක් ඉටු කිරීමක්. ජෙමාගේ අවුරුදු 27 ක ජිවිතයේ හම්බවෙච්ච මගේ අම්මි ඇරුණාම සොදුරුම, ආදරණියම, දයාබරම යුවතිය. (කෙටියෙන්ම කියනවා නම් මගේ හිටපු පෙම්වතියටත් වඩා) මට මැණිකේව හම්බවෙන්නේ අහම්බෙන්. කැම්පස් එකේ රැග් සීසන් එකේදි.

දවසක් ජෙමයි, හොදයි උදේ එනකොටම ජ්‍යෙෂ්ඨ උත්තමයෝ දෙන්නෙක්ට අහු උනා. හරිනේ ඉතිං ටොපිය. හිත හදාගෙනම උන් දෙන්නා ලගට ගියා. ගියා විතරයි ඔන් පටං ගත්තා. එක කෙලියයි. ජෙමාව ඩිෆ් ගස්සනවා, උඩ පන්නනවා, ඒ අස්සේ හොදා පත ගහක් බදාගෙන උම්මා දෙනවා. ඒක දැක්කා විතරයි මට පන යන්න හිනා. ඕක චෙක් ජ්‍යෙෂ්ඨ උත්තමයට. හරිනේ ටොපිය. ඔන්න ජ්‍යෙෂ්ඨ උත්තමයා සෙට් වෙනවා ජෙමාට පරිප්පුව දෙන්න...

ඔන්න ඔය වෙලාවේ තමයි මුව පැටියෙක් වගේ බය වෙලා බිම බලාගෙන, පොලවට වත් නොදැනෙන විදියට ඇවිදගෙන මැණිකේ එන්නේ... අර ජ්‍යෙෂ්ඨ උත්තමයට මැණිකේව දැක්කා විතරයි මාව අමතකයි...

අඩේ.. බූරි... වර මෙහාට...!!

July 19, 2015

බේබදු ජෙමා



කලිං පෝස්ට් එකක ලිවානේ සිගරට් ගැන. අද ලියන්න හිතුනා අරක්කු ගැන. සිගරට් නැවැත්තුවා උනාට තවම අරක්කු නං නැවැත්තුවේ නෑ.

ජෙමා මුලිංම අරක්කු බීවේ ඇච්චා කාලේලූ. ජෙමාට නං මතක නැ. දවසක් අප්පච්චි යාලුවෝ කට්ටියක් එකක් ගෙදර සෙට් වෙලා හිටියා. ජෙමාටත් ඉතිං ඕන්නැති මගුලක් නෑනේ. අප්පච්චිලා සෙට් වෙලා ඉන්න තැනට වෙලා බයිට් වලට වග කිය කිය ජෙමා කොලුවා ඉන්නවලු ඈ... ඔන්න එ සැරේටම...

අප්පච්චි බබාටත් ජෝ...!!

ඇදලා ඇරියලු මේසේ උඩ තිබිච්චි අරක්කු ෂොට් එකක්. කොහොමට තියෙන්න ඇතිද. අඩි දෙකතුනක් ඇවිදගෙන ගියාලු. කොල්ලා දොග් ගාලා පතබරියං උනාලු.. ඔන්න එදා ඉදං අප්පච්චි අරක්කු සිගරට් සදහටම නැවැත්තුවාලු.

ඒ පටං ගැන්ම නේ. ජෙමාට මතක තියන විදියට ජෙමා මුලිංම අරක්කු ටිකක් තොලගෑවේ යාලුවෙක්ගේ නංගි කෙනෙක් ගහෙන් වැටිච්චි පාර්ටි එකකදී. අපි 12 දෙනෙක් විතර වග කීවා ගල් බෝතලේකට. කොහොම හරි ගලටත් වග කියලා සෙට් එක දැං පකීර්ලා වගේ යනවා කන්න. කට්ටිය කෑමත් බෙදාගෙන සෙට් උනා කාමරේක කෑම කන්න.

මෙන්න යකෝ එක සැරේම තාරකයා කෑ ගහනවා...

“මොකාද ප* මගේ කෑම එකේ තියන බත් ටික ගත්තේ“

මේ මොන මගුලක්ද කියලා සේරම ෆුල් අන්දොස්. මේකයි වෙලා තියන සීන්  එක. තාරකයා කෑම එක බෙදාගෙන තියෙන්නේ බත් නැතිව. ඒ කියන්නේ ඒකාට වැදිලා. එදා ඉදං තාරකාය බතා උනා...

කොහොම හරි ඒ විදියට අල්ලා ගත්තු අරක්කු බෝතලේ මේ වෙනකං අතෑරියේ නෑ... ජීවිතේ එකම එක සැරයක් ජෙමාට වැදුනා උනේ මොකක්ද කියලා වෙච්චි දෙයක් මතක නැති වෙන්නම. ඒක උනේ කැම්පස් එකේ මිඩ් එක්සෑම් ඉවර වෙලා බෝඩිමේ දාපු පාර්ටි එකකදි. ජෙමා, මහතුං, පගලේ, වෙරියා, තනියා, හොදා, තමයි සෙට් උනේ. අපි හය දෙනාට තිබුණේ කෝක් මෙගා එකයි, ස්ප්‍රයිට් මෙගා එකයි, ගල් බෝතල් තුනයි, බියර් කැන් හතරයි, බයිට් එකට හංදියේ කඩේ කොත්තුයි, රයිස් එකයි, බිත්තර රොටියි. ආ තව සිගරට් පැක් එකක් විතර තියෙන්න ඇති.

ගැසුවා, වැදුනා, කබරයා පාරක් දැම්මා ජෙමා ඩවුන්ලු. හොදා එහෙම්ම ජෙමාව නාවලා ඇදුනුත් මාරු කරලා ඇදට දාලා ඒකත් වොෂ් එකක් දාගෙන ආවලු

“යකෝ අර ලබ්බා එක්ක නටලා වෙරිත් බැස්සා“

කියාගෙන ඉතිරි වෙලා තියන බියර් කෑන් එකක් ඇදලා ඇරියලු එක හුස්මට. විනාඩි දහයක් ගියේ නෑලු... මෙන්න බෝඩිමේ පිලිකන්න පැත්තෙං ඕක් ඕක් සද්දයක් එනවලු.. මහතුං ඇවිත් බලනකොට තැඹිලි ගහත්  බදාගෙන හොදා අරිනවලු ලෙසටම කබරයා පාර...

ඔන්න එදායිං පස්සේ ලිමිට් එකකට තමා අනුමත වෙන්න පටං ගත්තේ. බියර් එකට වැඩි ප්‍රයෝරිටි එකක් ආවේ. ඊට පස්සේ හොදම සිද්ධිය උනේ කැම්පස් එකේ බැච් ට්‍රිප් එකේදි. ජෙමා එක්කම හිටියා සහෝදරියක් (දැනට) වගේ කෙල්ලෙක්. නම  මැණිකේ. ඔන්න කට්ටිය ලෝකාන්තේත් බලලා ඇවිදලා කරලා ආවා නවාතැන්පලට. බ්ලැක්පූල් රෙස්ට් එකට. කස්ටිය ඔන්න පොඩ්ඩක් සෙටාර් උනා. ඔය අතරේ මැණිකේගෙං කෝල් එකක් එනවා...

“ජෙමා මල්ලි පොඩ්ඩක් එන්නකෝ“

ඔන්න ජෙමත් ගියා මැණිකේට කතා කරන්න. ඒ වෙනකොට ජෙමත් බියර් එකකට වග කියලා හිටියේ..

මොනාද බීවේ.. (ටිකක් විතර මලෙං)

ආ... පොඩි බියර් එකක්...

මේ... මටත් චුට්ටක් බීලා බලන්න ආසයි...

ඔන්න ඉතිං වචනේ ආවානේ... සුටුස් ගාලා ගෙනවා බියර් බෝතලෙයි බයිට් සුට්ටකුයි. ගෙනත් දුන්නා මැණිකෙට බෝතලේ. කට තියාගෙනම ඇදලා ඇරියා කියහංකෝ...

උපරිම තප්පර 30ක් යන්න ඇති ඕන නං...

ඊ.....යා.... තුහ් තුහ්..!! තූ..... මොනාද මේ ජරාව ඈයියා...

බොනවා එහෙම නෙමෙයි මේ ජරාව ආයේමත්. විසික්කා කියහංකෝ බෝතලේ අකුලකට. හම්මෝ මට ආව සන්තෝසයක්. කොහොම හරි එදා ජෙමාට බැච් ට්‍රිප් එක ඉවරවෙනකං බොන්න තියා බෝතලයක් දිහා බලන්න වත් ඉඩ දුන්නේ නෑ. (මැණිකේ කියන්නේ සහෝදරියක් නැති මට සහෝදරියක් (දැනට). ඊලග පෝස්ට් එක මැණිකේට වෙං කරන්න ඕනි)

ඊට පස්සේ....
ජෙමාගේ බෙස්ට් චොයිස්...

බියර් නං ඉතිං කාර්ල්ස්බර්ග් ස්පෙෂල් බ්‍රිව්
වැට් 69
වැට් 9
රෙඩ් රම්, වයිට් රම්
ලෙමන් ජින්
රෙඩ් වයින් 
තව නරිකෙලා කොක්ටේල් එකත් වරදක් නෑ.

ගල් අරක්කු නං ජෙමාට එපා කරපු ජාතියක්... ඒත් නොබොන්නෙත් නෑ...

සිගරට් එක නැවැත්තුවත් ජෙමාට අරක්කු නවත්තන්න තරං හේතුවක් සෙට් වෙලා නෑ මේ වෙනකං. ඒත් කවදා හරි අරක්කු නවත්තන්න හේතුවක් සෙට් උනෙත් දෙපාරක් හිතන්නෑ. නවත්තනවා.



July 18, 2015

සිගරට් - පටං ගැනීම හා අවසානය



ජෙමා මුලිංම සිගරට් එකක් බොන්න සේට් උනේ කැම්පස් එකේ ෆ්‍රෙෂර්ස් නයිට් එකේ. මාස ගානක් ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙං රැග කාලා කාලා ඒ සේරම අවසානේ ඒ දවස උදා උනා.

ජෙමා ඒ වෙනකොට හීනියට බියර් එකක් එහෙම අනුමත වෙනවා. ජෙමා, ගබ්බ, සිමෝ, පගලේ, වෙරියා තමයි සෙට් වෙලා හටියේ. ආවා ජ්‍යෙෂ්ඨ උත්තමයෙක්. ආහ් මල්ලිලා බියර් විතරද ගසන්නේ.. ඇදලා බලපකෝ මේක. කියලා දුන්නා මොකක්ද මංදා ඔතපු එකක්.

අම්මා ගහයි බැට් එකෙං... කැස්සක් ආවා පුතේ ඥස්පුක් වෙන්නම. නවත්තා ගන්නම බෑ..

එතකොට සිනියර් පොර ආයෙමත් පත්තු කරපු සිගරට් එකක් දික් කරනවා මේක ඇදපන් හෙමීට කැස්ස නවතිවි. ඇද්දා ඒකත්. යකෝ කැස්ස නැවතුනේ නෑ.. ඒත් පොඩ්ඩක් විතර අඩු උනා. මෙන්න යකෝ ටික වෙලාවක් යනකොට පාවෙනවා වගේ. 

අඩිය තියන තැන නෙමෙයි තියවෙන්නේ.. කෝම කෝම හරි ඩාන්සින් ෆ්ලෝ එකට සෙට් වෙලා නැටුවා. මෙන්න යකෝ ටික වෙලාවක් යනකොට සිමෝ කොහෙංද මංදා සිගරට් පෙට්ටියක් සොයන් ඇවිත්.. ඩාන්ස් කරනවා. කොහේ හරි අස්සකට යනවා.. සිගරට් එකක් අදිනවා... ආයෙත් ඇවිත් ඩාන්ස් කරනවා...

ඔන්න ඔහොම තමයි ආරම්භය සිගරට් එකේ...
(සිගරට් සොයා ගත්ත ජෝන් නැවියා කිවලුනේ ඒක පත්තු කරනකොට මේ දල්වන ගිණි දැල්ල නිවෙන දවසක් කාටවත් හිතාගන්න බැරි වේවි කියලා..)

ඊට පස්සේ...

රෑට පාඩම් කරන්න සෙට් වෙනකොට සිගරට් ගැසුවා...ඒ වෙනකොට රුපියල් 100 කට සිගරට්(ගෝල්ඩ්ලීෆ්) 5ක් විතර ගන්න පුලුවං. කට්ටිය 100 ගානේ දලා කඩෙං ගෝල්ඩ්ලීෆ් අරං යනවා පාඩං කරනකොට ගසන්න. ඔන්න ඉතිං ගෝල්ඩ්ලීෆ් ගසන්න අතේ සල්ලි නැතිවෙනකොට මෝල්ඩ්ව්ස් කියලා සිගරට් වගයක් ආවා ඒ කඩේට.. පැක් එකම 100යි. පැක් එකේ 18 ක් වගේ තියනවා මට මතක විදියට. ඊට පස්සේ ඒවා ගැසුවා...

පස්සෙං පහු වෙනකොට අපේ ගබ්බා දැම්මා යෝජනාවක් අපි සිගරට් බොන එක අඩු කරමු කියලා.. පොර ඒකට විසදුමකුත් කිවා. සිගරට් ගැසීම වෙනුවට බුලත් විට. ඔන්න ටික කාලයක් ලෙසටම ඒ මෙතඩ් එක වැඩ කලා. ඒ මෙතඩ් එකටත් කෙල උනේ මිඩ් එග්සෑම් එකකට බෝඩිමේ සෙට් උනාට පස්සේ..

එදායින් පස්සේ විටක් හපන ගමංම ගෝල්ඩ් ලීෆ් එක ගසනවා...

ඒ වෙනකොට අපේ බෙස්ට්ම චොයිස් උනේ..

1.ගෝල්ඩ් ලීෆ්
2.මෝල්ඩිව්ස්
3.බ්‍රිස්ටල්
4.ත්‍රීරෝස්
5.බීඩිත් ගහපු දවස් තිබුණා විටක් හපන ගමං


කොහොම කොහොම හරි සිගරට් එකේ වෙනත්ම පැත්තකට හැරුනේ කෙල්ලක් නිසා (ෂෙරීන්).  අපි කැම්පස් එකේ ඉන්න අතරතුර ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනිං කියලා තියනවා සබ්ජෙක්ට් එකක්. ඕකේදි අපිව එක එක ෆර්ම්ස් වලට දානවා. ඔතනිං මට සෙට් උන කම්පැනි එකේ බොසී තමයි ෂෙරීන්. ඔස්ට්‍රියන් කෙල්ලක්. මේකි ගිය දවසේම  ජෙමාට සෙට් උනා පට්ට විදියට. ෂෙරීන්ගේ කැබින් එකට එහා පැත්තේ තියන කැබින් එක තමයි මට සෙට් උනේ. ඔය දවස්වල ඉතිං ලන්ච් අරං ගෝල්ඩ්ලීෆ් එකකට වගකියලා තමයි ආයෙම රූම් එකට එන්නේ... ඉතිං ටිකක් වෙලා යනකොට රූම් එක පට්ට ගදයි. ඒසි එක නිසා ස්මෙල් එක ඩබල්.. දවසක් ලන්ච් වලට ගිහිං ආවා විතරයි ෂෙරීන් ආවා මගේ කැබි එකට. ආවා විතරයි කෙල්ලගේ මූණ කජු ලෙල්ල වගේ උනා. එදා තමයි ෂෙරීන් මට මෙන්න මේක දුන්නේ... ට්‍රයි කරන්න කියලා...

එදායින් පස්සේ දෙන්නා එක්කම දුම දානවා..

ඩන්හිල් කූල් එකට හුරු උනායින් පස්සේ ගොල්ඩ්ලීෆ් එක සෙට් උනේම නෑ. ඩන්හිල් එක විතරමයි හරිගියේ.

ඊට පස්සේ දැං මාසෙකට විතර කලියෙං ජෙමාට හිතුනා සිගරට් බොන එක නවත්තන්න. නැවැත්තුවා. එදා ඒ නවත්තපු දවසේ ඉදං මේ මොහොත වෙනකං ආයේ සිගරට් බීවේ නෑ. ආයේ බොන්න හිතෙයිද දන්නෑ. හිතුනොත් බොයි. හිත වෙනස් වෙන්න වැඩි වෙලා යන්නෑනේ.

දවසක් සිගරට් එකක් බිලා ගියා චූටි බාප්පලාගේ ගෙදර. බාප්පාට ඉන්නවා චූටි කෙලි පොඩ්ඩක්. මේකි මාව දැක්කා විතරයි දුවගෙන ඇවිත් ඇගේ එල්ලුනා. ඉතිං පැංචියාව මම වඩාගත්තා. හරිම හුරතල් කෙලි පොඩ්ඩ. මෙන්න මේකි එක සැරේම කෑ ගහලා කියනවා..

අම්මි අම්මී.... ලොකු පුතා (පොඩි එකා මට කියන්නේ ලොකු පුතා කියලා. මොකද හැමෝම  කියන නිසා ඒකිටත් ඒක හුරු වෙලා) මොනාද සැර ජාතියක් කාලා ඇවිල්ලා.. අලී...ම ගදා...යි..

කාලා වරෙංකෝ...

එදායිං පස්සේ තමා ජෙමාට හිතුනේ සිගරට් බොන එක නවත්තන්න.

ඇනෝපිලිස් දාලා තියන පෝස්ට් එක සිගරට් ගැන